Thursday, May 11, 2017

ඇපල් සුවඳ සෙන්ට් එක 3 කොටස



අපි දෙන්නම දෙහිවල හංදියෙන් බස් එකෙන් බැස්ස. කොල්ලුපිටියෙ බෝම්බයක් පුපුරල නිසා මෙහෙත් පට්ට ට්‍රැෆික්. ඔයා කොහෙටද යන්නෙ. මම ඇහුව.

පානදුරේ……..
අම්බලන්ගොඩ බස් එකක යන්න පුලුවන් නේ….. මම කිව්ව.
නවත්තයිද දන්නෙ නැහැනෙ පානදුරේ……
මම ඒක නවත්තල දෙන්නම්කො……
එයා යන්තම් හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවෙ හරියට පුලුවන් නම් බස් එක නවත්තල දෙන්න කියන්න වගේ……..

Monday, January 5, 2015

MOURNING GRAVE (2014) බිහිසුණු හැකියාව

 ප්‍රථමයෙන්ම සියලු දෙනාටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. 

මම අද අරං ආවේ සම්මානනීය දකුණු කොරියානු හොල්මන් චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය Comedy, Horror, Romance යටතේ වර්ග කොට තිබෙනවා. එමෙන්ම බොහොමයක් අසාර්ථක හොල්මන් චිත්‍රපටි මෙන් නොව, මේ චිත්‍රපටිය බොහෝ සාධනීය ලක්ෂණ සහිත, බොහෝ දුරට සාර්ථක චිත්‍රපටියක් ලෙස හැඳින්වීම නිවැරදියි. එමෙන්ම මේ වන විට, මෙම චිත්‍රපටියට 6.0ක් වැනි හොඳ IMDB අගයක් ද ලැබී තිබෙන බව කිව යුතුයි.

Thursday, November 6, 2014

A Long Way Down (2014) | දිගු කතාවක් කෙටි කිරීමට ඔබට අයිතියක් නොමැත……



එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. මට මෙහෙම මැරෙන්නේ නැතුව, වැරදි හදාගෙන ජිවත් වෙන්න තිබුණා නේද කියලා……

Saturday, November 1, 2014

Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්.



මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් සලරුවක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන ඉන්නේ.

Sunday, October 26, 2014

The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය.



මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මාව මේ චිත්‍රපටිය ගැන දැනුමත් කරලා, මේ චිත්‍රපටියට උපසිරසි කරන්න මට භාර දුන්න වාසල සොහොයුරාට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් දිනාගෙන තිබෙනවා. තවදුරටත්, මේ චිත්‍රපටියේ IMDB අගය දිහා බැලුවමත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙය කොතරම් විශිෂ්ට ගණයේ සලරුවක්ද කියලා. මේ සිනමා කෘතියට පදනම් වෙලා තියෙන්නේ මිට්සුබිෂි A5M සහ මිට්සුබිෂි A6M Zero යන ජපන් ගුවන් යානා වල නිර්මාපකයා වන ජිරෝ හොරිකෝෂිගේ ජීවන කතාවයි. සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට ආදර්ශයක් ගත හැකි, අගනා චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හැඳින්වීම නිවැරදියි. මේ ලෝකය මෙතරම් සුන්දර වූවේත්, ලස්සන වූවේත්, සාම්ප්‍රදයිකත්වයෙන් මිදී වෙනස් ආකාරයට සිතූ මිනිසුන් නිසාවෙන් බව ඔබ මොහොතකට හෝ හිතුවාද? සියලු දෙනාම සම්ප්‍රදායික, ගතානුගතික ආකාරයට තම චින්තනය මෙහෙයවූවා නම්, දැන් ඔබ පාවිච්චි කරන පරිගණක යන්ත්‍රය, ඔබට එළිය දෙන විදුලි බුබුල මෙන්ම අපට බොහෝ ප්‍රොයෝජනවත් වන විදුලිය පවා අප අතර නොවන්නට තිබුණා නොවේද? එමෙන්ම මොහොතකට සිතන්න දැන් ඔබ පිවිස සිටින බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පවා වෙනස් ආකාරයට සිතූ සුන්දර මිනිසෙකුගේ නිර්මාණයක් නොවේද? මේ ලොව මෙතරම් ලස්සන කිරීමට, සුන්දර කිරීමට, තම ජීවිතය කැප කළ එවැනි සුන්දර මිනිසෙකුගේ ජිවන කතාවයි මේ සලරුව මතින් දිග හැරෙන්නේ.තවත් එක් දෙයක් කියන්නම්, මෙම චිත්‍රපටිය නරඹන විට එහි 01:28:27 වන මොහාතේ සිට ඉදිරියට මඳක් අවධානයෙන් බලන්න. එවිට ඔබට වැටහේවි, තම සිහිනය සැබෑ කර ගැනීමට, මේ මිනිසාගේ තිබූ කැපවීම කොතරම්ද කියා. මෙම චිත්‍රපටිය සඳහා අන්තර්ජාලයේ තිබුණු ඉංග්‍රීසි උපසිරසි එතරම් හොඳ මට්ටමක නොවුණත්, මා හට හැකි අයුරින් එය සකස් කර ඔබේ රසවින්දනය සඳහා මෙය රැගෙන ආ බවද සඳහන් කර සිටිමි. අපි දැන් මේ සලරුවේ කතාව දෙසට මදක් හැරෙමු. ජිරෝ කියන්නේ කුඩා කළ සිටම ගුවන් යානයක් නිර්මාණය කිරීමට සිහින මැවූ අයෙක්. කෙසේ හෝ ඔහු ගුවන් යානා නිර්මාණය පිළිබඳ හදාරා, ජපානයට ගුවන් යානයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා. ඔහු මේ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අතර, ඔහුට පෙම්වතියක්ද මුණ ගැසෙනවා. ඉන් පසු මේ දිරිය මිනිසාගේ ගුවන් යානයක් නිර්මාණය කීරීම සඳහා යන ගමන ගලා යන්නේ සුන්දර ආදර කතාවක්ද සමඟයි. නමුත් චිත්‍රපටිය අවසානයේදී ඔබ බලන්න, ඔහු ජයගන්නේ තමාගේ ප්‍රේමයද, නැත්නම් තමාගේ සිහිනයද කියා. මෙවැනි අපිරිමිත කැපකිරීම් කරමින්, මේ ලෝකය සුන්දර මෙන්ම සුවපහසු කිරීමට වෙහෙසුණු මිනිසුන්ට මගේ ගෞරවය පුද කරමින් ඔබෙන් සමුගන්නම්. මතක ඇතුව කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.

චිත්‍රපටිය හා සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Tuesday, October 7, 2014



ප්‍රේමයට වයස බලපානවාද? මම අද මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ මම අද අරන් ආව ජපන් සලරුවෙන් කියවෙන්නේ, අවුරුදු 15ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 27ක තරුණියක් අතර ඇති වන ප්‍රේමයක් ගැන නිසයි. ඇත්තටම මේ ජපන් සලරුව, මිනිත්තු 46ක් පුරාවටම ඔබව අමුතුම ලෝකෙකට රැගෙන යනවාට කිසිම සැකයක් නැහැ. මම මෙතෙක් නැරඹු, චිත්‍රපටි අතරින්, ඉතාමත්ම විශිෂ්ට ගණයේ සහ ඉතාමත්ම ප්‍රේමාන්විත චිත්‍රපටියක් ලෙස මෙය හැඳින්විය හැකියි.
මෙහි IMDB අගය දිහා බැලුවම උනත්, ඔයලට මේ චිත්‍රපටියේ විශිෂ්ට බව තේරුම් ගන්න පුළුවන්.
අපේ සමාජයේ සම්මතයන්ට අනුව මෙවැනි ප්‍රේමයක් අසම්මත වුවත්, ඔබ බලන්න මේ ප්‍රේමය කෙතරම් සුන්දරද කියා.මම මේ ප්‍රේමයේ සුන්දර බව විදහා පෑමට ඔබට මෙහි එන එක් කොටසක් උපුටා දක්වන්නම්.

රාත්‍රියේදී, මා නින්දට යෑමට පෙරත්...
උදෑසනදී, මා අවදි වූ විගසමත්...
 මා වර්ෂාව ප්‍රාර්ථනා කරනා බව මට වැටහුණි.
හිරු එලිය සහිත දිනයන්හිදී,

මා අඳුරේ ලාමකව සිටින්නාක් මෙන් දැනේ......
එවිට මා සිත අසහනයෙන් පෙළෙයි.
ඇය සිටින්නේ මාගේ ලෝකයෙන් බොහෝ ඈත් වූ
කාර්යබහුල වැඩිහිටියන්ගේ ලෝකයේය..........
මා හට, ඇගෙන් පිළිබිඹු වන්නේ මේ ලොව ඇති
ගුප්ත බව මිස අන් කිසිවක් නොවේ..........
අවංක ලෙස, මා හට කරුණු දෙකක් විශ්වාසයෙන්
පැවසිය හැක:
එක: අවුරුදු පහළොවක් වන මා, ඈ හට නිකන්ම කුඩා ළමයෙක් පමණෙකි.
දෙක: මා පෙළන මේ හැඟීමෙන් ඈත් වීමට ඇති එකම දේ සපත්තු
නිර්මාණයට යොමු වීමයි.

අපි දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මදක් හැරෙමු. උසස් පාසලක සිසුවෙකු වන, 15 හැවිරිදි අකිසුකී අවුරුදු 27ක තරුණියක් වන යුකිනෝ සමඟ පෙමින් බැඳෙන්නේ අහම්බෙන් සිදු වූ සිදුවීමක් නිසයි. මේ ප්‍රේමයට වර්ෂාව සමඟ ඇති සම්බන්ධය කුමක්ද, මේ ප්‍රේමයට ඇතිවන බාධක මොනවාද, මේ ප්‍රේමයට අවසනදී සිදු වන්නේ කුමක්ද කියා මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න කියලා මම ආරාධනා කරනවා. සමාජ සම්මතයන්ට පිටු පා යන, මේ සුන්දර ප්‍රේම කථාව හද සසල කරවන සුළු අවසානයකින් යුතු බව සහ ඉතාමත්ම අලංකාර දර්ශන වලින් යුක්ත බව නම් කිව යුතුමයි. ඒකාකාරී බවින් මිදුණු, සුන්දර පෙම් කථාවක මිහිර විඳ ගැනීමට ඔබට ආරාධනා කරමින්, මම ඔබෙන් සමුගන්නම්. අමතක නොකර comment එකකුත් දාලා යන්න. මේ චිත්‍රපටිය නරඹලා ඉවර වෙලාම comment එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබට ජය.

චිත්‍රපටිය සහ සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Sunday, July 27, 2014

7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය…

 

ඊයේ ඉපදී අද මිය යන්නට - පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි - ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත - ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් - වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී ගීයකින් ලිපිය ආරම්භ කරේ ඇයි කියලා ඔයාලා බලනවා ඇතිනේ. මම අද අරන් ආව චිත්‍රපටිය මේ ගීතයට ඉතාමත්ම සම්බන්ධ චිත්‍රපටියක්. හද පාරවන සුළු, ප්‍රේමයේ අහිමිවීම මේ චිත්‍රපටිය තුළින් නිරුපණය කරනවා.
හදවතට දැනෙන, හදවතින්ම විඳින්න පුළුවන්, අතිශය ලයාන්විත සංගීතයකින් මෙම චිත්‍රපටිය හැඩ ගැන්වී තිබෙනවා. ඒ මියුරු සංගීතයට උදාහරණයක් ලෙස අතිශය ජනප්‍රිය වූ Kan Pesum Varthaigal ගීතය දැක්විය හැකියි. චිත්‍රපටිය ගැන ටිකක් කිව්වොත්, සම්මාන විශාල ගණනක් හිමි කරගෙන ඇති, එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ, ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමා මෙය. මේ චිත්‍රපටියේ රවී ක්‍රිෂ්ණා සහ සෝනියා අග්‍රවාල් අතිශයින්ම තාත්වික මෙන්ම දක්ෂ රංගනයක නිරත වනු දැකිය හැකියි. සමහරවිට ඔබ රවී ක්‍රිෂ්ණා ගැන එතරම් නොදන්නවා විය හැකියි. එතරම් විශාල චිත්‍රපටි ගණනක රඟ පා නොමැති මුත්, ඉතාමත්ම දක්ෂ නළුවෙකු ලෙස රවී ක්‍රිෂ්ණා හැඳින්වීම නිවැරදියි.

මට තව පොඩි දෙයක් කියන්න හිතුණා. ඔබ නැරඹීමට චිත්‍රපටියක් තෝරා ගැනීමේදී, එය අලුත් චිත්‍රපටියක් නම් පමණක් එය නරඹනවාද? එසේ නොවී, තරමක් පරණ චිත්‍රපටියක් වුවත්, එය උසස් රසවින්දන මට්ටමකින් හෙබි, ජිවිතයට යමක් ගත හැකි චිත්‍රපටියක් නම්, එවැනි චිත්‍රපටි මඟ නොහැර ගත යුතු බව මගේ හැඟීමයි. දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මඳක් හැරෙමු. කාතීර් කියන්නේ තට්ටු නිවාස සංකීර්ණයක ජිවත් වන තාරුණ්‍යට, අනන්‍ය වූ දඟකාරකමෙන් ඔබ්බට ගිය, විසේකාරකමකින් යුතු තරුණයෙක්.ඉගැනීමට මඳක් වත් සිත යොමු නොකරන ඔහු, යහළුවන් සමඟ රස්තියාදුවේ යමින්, මතට ඇබ්බැහි වෙමින්, තාරුණ්‍යයට හිමි නිදහසින් අනිසි ප්‍රයෝජන ගනිමින් ජීවිතය ගත කරන තරුණයෙක්. මේසේ සිටිනා විටදී, ඔවුන් සිටිනා, නිවාසයට අල්ලපු නිවාසයට, අලුත් පවුලක් පදිංචියට පැමිණෙයි. එම පවුලේ සිටිනා අනීතා කෙරෙහි ආලයෙන් වෙලෙන කාතීර් හට අනිතාගේ ප්‍රේමය ලබා ගැනීමට හැකි වේද? මේ ප්‍රේමය නිසා ඔහුගේ විසේකාර ජීවිතයට විරාමයක් තැබීමට හැකිවේද? මේ කතාවේ අවසානය කෙබඳු වේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් මේ විශිෂ්ඨ ගණයේ චිත්‍රපටිය නරඹන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.

යන්න කලින් තව දෙයක් කියන්නම්. ඉවසීම ප්‍රගුණ කර ගැනීම, ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක්. ඕනෑම දෙයක් අපට ජය ගත හැක්කේ ඉවසීමෙන් පමණයි. කෝප ගැනීම, ක්ෂණික කෝපය කිසි දිනෙක අප හට පරාජයක් මිස ජයක් අත් කර නොදෙන බව මතක තබා ගත යුතුම කරුණකි. මේ ටික කිව්වේ මෙය චිත්‍රපටියට සම්බන්ධ නිසයි. මේ දේත් සිතේ තබා ගෙන, චිත්‍රපටිය නරඹලා, ඔබේ අදහස් කියලා කොමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ජය.

 Watch Trailer
චිත්‍රපටිය සහ සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.